Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනාධිපතිතුමා නවදිල්ලි නුවරදි ඉන්දීය මාධ්‍ය වෙත ලබාදුන් සාකච්ජාව

Read Time3 Minutes, 16 Seconds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය මාධ්‍ය වෙත ලබාදුන් සම්මුඛ සාකාච්ජාව

මාධ්‍යවේදි හිතවතුනි, මිත‍්‍රවරුනි,

විශේෂයෙන්ම මා ඉතාමත් සතුටු වෙනවා නවදිල්ලියට පැමිණි අවස්ථාවේ ඔබ හමුවීම පිළිබඳව. ඒ වගේම ඔබ දන්නවා මම පැමිණියේ ගරු අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට. විශේෂයෙන්ම ඉන්දියාවේ ජනාධිපතිතුමා අපට ආරාධනා කරලා තිබුණා බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය නායකයන් විදියට මේ උත්සවයට සහභාගී වෙන්න. ඒ නිසා අපි ඉතාමත් සතුටින් මෙයට සහභාගී වුණේ. ඉන්දීය නව රජයට, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් අපේ ආශිර්වාදය සහ සුබපැතුම් පිරිනමනවා.

ඒ වගේම ලෝකයේ වැඩිම ජනතාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ඡන්දය පාවිච්චි කරන රට විදියට, ලෝකයේ ඉහළම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය විදියට මම හිතනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීම පිළිබඳව නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රජයට මුළු ලෝකයේම ජනතාවගේ ප‍්‍රසාදය හිමි වෙනවා කියලා.

මම ඉතාම සතුටින් ඔබ අහන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඔබට කැමති ඕනෑම ප‍්‍රශ්නයක් මගෙන් අහන්න කියලා.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනව ද, ඒ වගේම බිම්ස්ටෙක් සංවිධානය ගත්තහම බිම්ස්ටෙක් සංවිධානයේ අනාගතය සහ එහි විෂය පථය කොයි ආකාරයෙන් වෙයිද? විශේෂයෙන්ම සාර්ක් සංවිධානය සමග

ශ‍්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය තියවෙන්නේ මේ වසරේ අවසානයේ. මැතිවරණය පැවැත්වෙන්නේ මේ දෙසැම්බර් මාසයේ 07 වෙනිදා. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ඒ පිළිබඳ ප‍්‍රකාශයක් එසේ කරලා තිබෙනවා. මැතිවරණයට තවම අපට කල් තිබෙනවා. ලංකාවේ කිසිඳු දේශපාලන පක්ෂයක් මෙතෙක් අපේක්ෂකයෙකු තෝරගෙන නැහැ, ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කිසිම පක්ෂයක්. ඒ නිසා මටත් හදිසියක් නැහැ, අනිත් පක්ෂ තෝරනකන් මමත් බලාගෙන ඉන්නවා මගේ තීරණයට එන්න.

බිම්ස්ටෙක් සමුළුව පිළිබඳව ඔබ ඇහුවා. ඒ වගේම සාර්ක් සමුළුව තිබියදීත් බිම්ස්ටෙක් සහ ඒ අතර වෙනස ඔබ ඇසුවා. සාර්ක් සංවිධානය වගේම බිම්ස්ටෙක් සංවිධානයත් ඉතා වැදගත් සංවිධාන. කලාපීය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් රටවල් විවිධාකාරයෙන්, විවිධ ක්ෂේත‍්‍ර හරහා සංවිධානය වීම වැදගත්. එසේ සංවිධානගතවීම තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වෙනවා. ඒ වගේම වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් වෙනවා. කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය සුහදතාවය සහ මිත‍්‍රශීලිභාවය වැඩි වෙනවා. ඒ නිසා මේ සංවිධාන දෙකම ඉතා වැදගත්. අද අධි තාක්ෂණයත් සමඟ අන්තර්ජාතික වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් පවතින ප‍්‍රශ්න ගත් විට රටවල් අතර සංවිධාන ඒකාබද්ධවීම සහ මිත‍්‍රශීලිභාවය ශක්තිමත්වීම අත්‍යාවශ්‍යයි.

ඉන්දීය අගමැතිතුමා ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව ප‍්‍රකාශ කළා ද, ඒ වගේම රටේ උග‍්‍ර වෙමින් පවතින ජාතින් අතර ප‍්‍රචණ්ඩත්වය, එය ප‍්‍රශ්නයක් නොවෙයි කියලා ඔබ හිතනව ද?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා මාලදිවයින් සංචාරය අතර ශ‍්‍රී ලංකාවටත් පැමිණෙන බව දන්වා තිබෙනවා. ඉන්දීය අගමැතිතුමාගේ සංචාරය ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත්. අපි අසල්වාසි මිත‍්‍ර රටවල්. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත‍්‍රත්වයට සහ සබඳතාවයට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසා අපි එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නවා. එතුමාගේ පැමිණිම ශ‍්‍රී ලංකා රජයට සහ ජනතාවට ඉතා ගෞරවයක්.

ඒ වගේම ඔබ ඇහුවා පසුගිය අපේ‍්‍රල් 21 වනදා සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සහ රටේ තත්ත්වය පිළිබඳව. අපේ‍්‍රල් 21 සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව ශ‍්‍රී ලංකාව සති තුනක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් සාමකාමී බවට මම පත් කළා. ඒ වගේම අපේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ඉතාමත් හොඳින් එය කළමනාකරණය කළා.

අද වන විට රටේ ඉහළම සාමකාමී තත්ත්වයක් ඇති වී තිබෙනවා සහ රට සාමාන්‍ය අතට පත්වෙලා තිබෙනවා. ඒ නිසා රටට දැන් විදේශ සංචාරකයින් පැමිණිමට පටන්ගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටට පැමිණීම පිළිබඳව ඇතැම් රටවල් සංචාරකයන්ට පනවා තිබූ බාධක දැන් ඉවත් කරලා තිබෙනවා. ඒ නිසා රට ඉතා සාමකාමියි. ඉන්දීය අගමැතිතුමාගේ සංචාරයට අපි සූදානම්. ඉතා හොඳ පරිසරයක් රට තුළ ඇති වී තිබෙනවා. කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

ඉන්දියාව, ජපානය සහ ශ‍්‍රී ලංකාව යන රටවල් 3 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ගිවිසුම් අත්සන් කළා කියලා දැන ගන්නට ලැබුණා. එහිදී දේශපාලන වශයෙන් මත ගැටුමක් තිබෙනව ද?

ඉන්දියාව, ජපානය සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අනාගතයේ ඇතිකරගන්නා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට, එම ගිවිසුමට පෙර අවබෝධතා එකඟතාවයකට අත්සන් කරලා තිබෙනවා. මෙය ගිවිසුම නෙවේ, ගිවිසුම සකස් කිරීමට ඇතිකරගන්නා වූ එකඟතාවය. ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සහ ජපානය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය හා භාවිතා කිරීම පිළිබඳව, විශේෂයෙන් එහිදී ඇතිවන සාකච්ඡා රටවල් 03ටම ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාවට ආර්ථික සහ වෙළෙඳ වශයෙන් වාසි සහගත ආකාරයට තමයි මේ එකඟතාවය ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ.

21වනදා ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබුණා කියා සඳහන් වෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරලා තිබෙනවා ඔබතුමා මේ ගැන දැනගෙන හිටියා නම් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නවා කියලා, ඇත්තෙන්ම එතන මොකක් ද වුණේ?

විශේෂයෙන්ම කොළඹ නගරය ප‍්‍රමුඛ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සිදු වුණේ පසුගිය අපේ‍්‍රල් 21වනදා. එම සිද්ධිය සිදුවන විට මම හිටියේ සිංගප්පූරුවේ. මෙම සිද්ධිය සිදුවන බවට ඉන්දීය රජය ශ‍්‍රී ලංකා රජයේ බුද්ධි අංශවලට දැනුම්දීමක් කරලා තිබෙනවා, එවැනි සිදුවීමක් සිදුවීමට ඉඩ තිබෙන බවට වාර්තාවක් එවලා තිබෙනවා, ඒසේ ඉන්දීය රජය පැත්තෙන් දන්වලා තිබෙන්නේ, අපේ‍්‍රල් 04 වනදා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර ලිපි හුවමාරු වෙලා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති අතරේ මේ තොරතුරු හුවමාරු වී තිබෙනවා, ලිපිවලින්. මම ශ‍්‍රී ලංකාවෙන් පිටත්වුණේ අපේ‍්‍රල් මාසයේ 16 වෙනිදා. අපේ‍්‍රල් 04 වනදා සිට අපේ‍්‍රල් 16 වනදා දක්වා දින 12ක් මම ලංකාවේ ඉන්නවිට මෙම තොරතුරු අපේ ආරක්ෂක අංශ වෙත ලැබී තිබුණා. එහෙත් කිසිඳු ආරක්ෂක ප‍්‍රධානියෙක් මෙවැනි තොරතුරක් ලැබී ඇති බවට මාව දැනුවත් කළේ නැහැ. මම දැනගෙන තිබුණා නම් මම රටෙන් පිට වෙන්නෙත් නැහැ. මම මේ පිළිබඳ දැනුවත් වී තිබුණානම් මේ සිදුවීම වළක්වනවා. අපේ ආරක්ෂක අංශ ප‍්‍රධානින් අතින් විශාල දුර්වලතාවයක් සිදු වී තිබෙනවා. ඒ නිසා මම ආරක්ෂක ලේකම් සහ පොලිස්පති එම තනතුරුවලින් ඉවත් කළා. ඒ වගේම එම සිදුවීම සිදුවූ ආකාරය සහ ආරක්ෂක අංශවල යම් දුර්වලතාවයක් සිදුවී තිබේ ද යන්න සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත පරික්ෂණ මණ්ඩලයක් මම පත් කළා අපේ‍්‍රල් 22 වනදා. ඒ අනුව ආරක්ෂක අංශවල එම දුර්වලතාවය සිදුවීමට ඉඩ හැරි නිලධාරින්ට විරුද්ධව අපි විනයාකූලව සහ නිත්‍යානුකූලව කටයුතු කරනවා. මේ පිළිබඳ මට දන්වා සිටියා නම් මේ ජීවිත විනාශ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ, ආරක්ෂක අංශ විධිමත් කරනවා.

දැන් ත‍්‍රස්ත සංවිධාන සහ ඉස්ලාම් රැඩිකල්කරණය කියන එක ශ‍්‍රී ලංකාවට ඒ වගේම කලාපයට අභියෝගයක් කියලා හිතනවා. මෙය වළක්වා ගැනීමට මොනවගේ කි‍්‍රයාමාර්ගයක් ගතයුතු ද?

ත‍්‍රස්තවාදය කියන එක විවිධාකාරයෙන් ලෝකයේ සිදු වෙනවා. රටවල් ඇතුළේ අභ්‍යන්තර වශයෙන් ත‍්‍රස්තවාදය සිදු වෙනවා. අපේ රටේ අවුරුදු 30ක් ත‍්‍රස්තවාදි යුද්ධය තිබුණා. දැන් යුද්ධය අවසන් වී අවුරුදු 10ක් රට සාමකාමීව පැවතුණා.ඒ වගේම ලෝකයේ දේශපාලන අන්තවාදීන් සහ ආගමික අන්තවාදීන් ත‍්‍රස්තවාදය සංවිධානය කරනවා. මේ අන්තර්ජාතික ත‍්‍රස්තවාදය කුමන ආකාරයෙන් සිදුවුණත් ලෝකයේ සෑම රටකටම එය තර්ජනයක්. ඒ වගේම ලෝකයේ බලවත් රටවලට තමයි මේ ත‍්‍රස්තවාදින් වැඩිපුරම ප‍්‍රහාර එල්ල කරලා තිබෙන්නේ, අපේ රටේ මේ ත‍්‍රස්තවාදී සිදුවීම සිදුකරන්නේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයක් කියන එක පැහැදිලිය. එය කුමන රටකට සිදුවුණත් තර්ජනයක් සහ ප‍්‍රශ්නයක්. ඒ නිසා ත‍්‍රස්තවාදයට විරුද්ධව ලෝකයේ සියලුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් එක්විය යුතුයි. බලවතුන් වෙන්න පුළුවන්, කුඩා රටවල් වෙන්න පුළුවන් සියලුදෙනා එක්වීම තුළ තමයි ත‍්‍රස්තවාදය පරාජය කළ හැක්කේ. මේ ත‍්‍රස්තවාදින්ගේ අරමුණ රටවල්, කැඞීම, බෙදීම සහ අසමඟි කිරීම. ඒ කෙසේ වෙතත් ලංකාවේ මේ වන විට සම්පූර්ණයෙන් ත‍්‍රස්තවාදි කි‍්‍රයා පාලනය කරලා තිබෙනවා. ඊට සම්බන්ධ සියලුම අය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. රට තුළ පැහැදිලිව ස්ථීර සාමයක් ඇති කරලා තිබෙනවා.

ඔබතුමා කලින් සඳහන් කළා බිම්ස්ටෙක් සහ සාර්ක් සංවිධාන ඉතා වැදගත් කියලා. මේ වන විට සාර්ක් කි‍්‍රයාදාමය තුළ යම් කිසි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. එය යළි පණගැන්විය යුතුයි කියලා ඔබතුමා හිතනවද?

බිම්ස්ටෙක් සංවිධානය හා සාර්ක් සංවිධානය යන දෙකම ඉතා වැදගත් කියලා මම කලින් සඳහන් කළා. ඒ නිසා එහි සාමාජික රටවල්වල වගකීමක් එම සංවිධාන දෙකම ශක්තිමත් කිරීම. යහපත් ආකල්පයකින්, යහපත් අදහසකින් කරන ඕනෑම දෙයක් හොඳ ප‍්‍රතිඵල පෙන්වනවා. ඒ නිසා මෙම සංවිධාන දෙකම ශක්තිමත් කළ යුතුයි.

ඥානසාර හිමි නිදහස් කළා කියලා අපිට දැන ගන්නට ලැබුණා. මෙයා දැඩි දක්ෂිණාංශික මතධාරියෙක්. මේ ගැන සමහර අය විවේචනය කරනවා. මොකක්ද වුණේ, කොහොමද නිදහස් කළේ. ඒ පිළිබඳ විස්තරයක්.

ඥානසාර ස්වාමින්වහන්සේ කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්. විශේෂයෙන් උන්වහන්සේ නිදහස් කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම සිංහල බෞද්ධ නායකයන් වගේම මහානායක ස්වාමින් වහන්සේලාත් තදින් ඉල්ලීමක් කළා. ඒ වගේම අන්‍යාගමික නායකයොත් කිසිවෙක් මේ පිළිබඳ විරුද්ධත්වයක් පළ කළේ නැහැ. ඒ අනුව තමයි මම උන්වහන්සේ නිදහස් කළේ. මම උන්වහන්සේට පෞද්ගලිකව කියලා තිබෙනවා සාමය ආරක්ෂාවන පරිදි හැසිරෙන්න ඕන කියලා. සමහර අය විග‍්‍රහ කරනවා මේ තුළ ගැටුම් ඇතිවෙයි කියලා. නමුත් අපි අපේක්ෂා කරන්නේ ගැටුම් වළක්වාගෙන සියලුදෙනා එක්ව ජීවත්වීමේ සමාජයක් ගොඩනැඟීම.

විශේෂයෙන්ම අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ අපි පරික්ෂණ පවත්වලා තිබෙනවා. ශ‍්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ මේ පිළිබඳ පරික්ෂණ කළා. කරනවා. ඒ වගේම අපේ මිත‍්‍ර රටවල බුද්ධි අංශත් අපට මේ සඳහා සහයෝගය දුන්නා. ඉන්දියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වගේ ප‍්‍රබල රටවල් අපේ රටට ඇවිල්ලා මේ පිළිබඳ කෙරෙන පරික්ෂණවලට සහයෝගය දුන්නා. එම පරික්ෂණවල ප‍්‍රතිඵලය වන්නේ විශේෂයෙන්ම මෙය ත‍්‍රස්තවාදී සංවිධානයක් විසින් කළ පිපිරීමක් කියන එකයි. මේක බොහෝ විට ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සංවිධානය වූවක් බව බුද්ධි අංශ වාර්තා කරනවා. මේ පිපිරීමට සම්බන්ධ ශී‍්‍ර ලාංකීය ත‍්‍රස්තවාදින් ලෝකයේ වෙනත් ත‍්‍රස්තවාදය තිබෙන රටවලට ගිහිල්ලා පුහුණුව ලබා තිබෙන බවට තොරතුරු තිබෙනවා. මෙම සිදුවීමෙන් පසුව ජාත්‍යන්තර ත‍්‍රස්ත ව්‍යාපාරයක් වූ අයිඑස්අයිඑස් නායකයන් ප‍්‍රකාශයක් කළා ඔවුන් එහි වගකීම භාරගන්නවා කියලා. විශේෂයෙන් බුද්ධි අංශ වාර්තා කරනවා විදේශීය ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයක් සමග ඔවුන්ගේ සම්බන්ධතාවයන් තිබූ බවට.

මේ ත‍්‍රස්තවාදින් කොයි කොයි රටවලට ද ගිහිල්ලා තිබෙන්නේ, පුහුණුව ලබන්න.

කුමන රටවලට ද කියන එක පිළිබඳ තවම හරියටම බුද්ධි අංශ වාර්තා කරලා නැහැ. නමුත් විදේශ පුහුණුවීම් ලබලා තිබෙන බව වාර්තා කරනවා.

ලංකාවේ අයට විදේශ රටවල මූල්‍ය අනුග‍්‍රහය ලැබුණ ද,

මේ සංවිධානයට සම්බන්ධ සිය දිවි නසාගත් පුද්ගලයන් ඇතුළු සංවිධානයේ බොහෝ අය ලංකාවේ ඉහළම ආර්ථිකයක් තිබුණු ධනපති පවුල්වල අය. ඒ වගේම සියදිවි නසාගත් තරුණයන් හොඳ උගත් අය. ආචාර්ය උපාධිධාරිනුත් ඉන්නවා. ඒ තුළ ප‍්‍රධාන වශයෙන්ම සංවිධානයට අවශ්‍ය මුදල් රට ඇතුළෙන් මේ අය එක් කරගන්න ඇතැයි කියා බුද්ධි අංශ වාර්තා කරනවා. පිටින් මුදල් ලැබුණා කියලා තවම අපට තොරතුරු නැහැ. ඉදිරි පරීක්ෂණවලින් සොයාගන්න පුළුවන් වෙයිද කියලා තවම කියන්න පුළුවන්කමක් නැහැ.

ඉන්දියාවට කලින් ඒ ත‍්‍රස්තවාදින් ඇවිල්ලා තිබෙනවා කියලා දැන ගන්න ලැබී තිබෙනව ද, සම්බන්ධකම් දැනගන්න ලැබී තිබෙනව ද, එක නිලධාරියෙක් කියලා තිබෙනවලු ඒ අය ඉන්දියාවට ඇවිල්ලා තිබෙනවා කියලා.

මේ ත‍්‍රස්තවාදීන් ඉන්දියාවට ආවද කියන එක මට නම් වාර්තා වී නැහැ. එවැනි සම්බන්ධතාවයක් පිළිබඳව මගේ ආරක්ෂක අංශවලින් මට වාර්තා කරලා නැහැ.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු කොයිතරම් දුරට ආරක්ෂිත ද, පසුගිය සති දෙකකට කලිනුත් යම් ප‍්‍රහාරයක් එල්ල වුණා පසුව ඔබතුමාගෙන් අපට ප‍්‍රකාශයක් නම් ලැබුණේ නැහැ ඒ සම්බන්ධයෙන්.

ශ‍්‍රී ලංකාවේ ජීවත්වෙනවා සිංහල, දෙමළ, ඉස්ලා්, මැලේ, බර්ගර් කියන ජාතින්. ඒ සියලුදෙනාගේම ආරක්ෂාව අපි රජයක් විදියට සහතික කරලා තිබෙනවා. කිසිම ජාතියකට හෝ ආගමකට අයත් අයට තවත් ජාතියකින් හෝ ආගමකින් හිරිහැර සිදුවීම අපේ ප‍්‍රතිපත්තියක් විදියට පිළිගන්නේ නැහැ. අපේ රට ඉන්දියාව වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. ජනතාවට නිදහස තිබෙනවා. ඒ නිසා රටේ සෑම පුරවැසියෙකුගේම ජීවිත ආරක්ෂාව මගේ රජය සහතික කරලා තිබෙනවා. ඒ නිසා කිසියම් ජාතියක් හෝ ආගමක් පිළිබඳ ප‍්‍රශ්නයක් මතු වන්නේ නැහැ. පොලිසිය සහ ආරක්ෂක හමුදාවලට සම්පූර්ණයෙන් එම වගකීම භාරදී තිබෙනවා.

දෙමළ ජාතිවාදය උතුරු ප‍්‍රදේශවල යළි නැඟී එයි කියලා ඔබ හිතනව ද,

අපේ රටේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය අවුරුදු 28 ක් තිබුණා. අපිට එය මර්දනය කරලා, රටේ ස්ථිර සාමයක් ඇති කරන්න පුළුවන් වුණා. ඒ සඳහා රටවල් රැසක සහයෝගය අපට එදා ලැබුණා. මමත් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර 05කට ලක්වූ කෙනෙක්. මට ප‍්‍රහාර එල්ල කරන්න ආපු හැම කෙනෙක්ගේම ජීවිත විනාශ වුණා. ඔවුන් විසින්ම ජීවිත විනාශ කර ගත්තා. මාව ඝාතනයට පැමිණි පුද්ගලයෙක් අධිකරණයේ වැරදිකරු වී ඔහු සිර දඬුවමට ලක්වුණා. මම ඔහුටත් නිදහස දුන්නා. මාව මරන්න ආපු පුද්ගලයත් මම නිදහස් කළා. ඔහු දැන් ඔහුගේ දෙමාපියන් භාරයේ ඉන්නවා. ඒ වගේ කරුණු ගත්තහම එල්.ටී.ටී.ඊ ය නැවත සංවිධානය වෙන්නේ නැහැ. එහෙම සංවිධානය වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ.

මෝදි අගමැතිතුමා කවද ද එන්නේ, කොච්චර කාලයක් ඉඳී ද, එම සංවාරයේ ප‍්‍රධාන අරමුණ කුමක්ද, ඒ වගේම දිල්ලියේ යම් කිසි සැකයක් තිබෙනවා චීනය තමන්ගේ බලපෑම් ව්‍යාප්ත කරනවා කියලා ශ‍්‍රී ලංකාවේ, ඒක ඔබතුමා කොහොමද දකින්නේ,

මෝදි අගමැතිතුමා මාලදිවයින් සංචාරයේ දී ම තමයි ශ‍්‍රී ලංකාවටත් පැමිණීමට නියමිතව තිබෙන්නේ. 09 වනදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම එතුමාගේ ශ‍්‍රී ලංකා සංචාරය ඉතා වැදගත්.

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර තිබෙන්නේ, ආර්ථික සහ වෙළෙඳ සබඳතාවයක්. ඒ නිසා ආර්ථික, වෙළෙඳ සබඳතාවයන් තුළ ලෝකයේ තවත් රටකට වෙනත් කාර්යක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ ගැන ශ‍්‍රී ලංකා රජය වගකීමෙන් කටයුතු කරනවා.

ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍යතුමා පසුගිය දිනක සඳහන් කරලා තිබුණා තවදුරටත් ඉන්දියාවේ සහයෝගය සහ උපකාර ත‍්‍රස්ත විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිතුමා සමග ඔබතුමා සාකච්ඡා කළා ද?

සාර්ක් සංවිධානයේ ඉදිරි ප‍්‍රගමනයන් නැති වෙන්න ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා පකිස්ථානයේ හැසිරීම. මෙම සංවිධානය තුළ ශ‍්‍රී ලංකාවේ භූමිකාව කොයි ආකාරයෙන් ද ඔබතුමා දකින්නේ.

මෝදි අගමැතිතුමා සහ මා අතරේ පැවති සාකච්ඡාවල දී ප‍්‍රධාන වශයෙන්ම අවධානය යොමු වුණේ දෙරට අතර ආර්ථික හා වෙළෙඳ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව. ඒ කරුණු හැරෙන්න ඔබ කියන ආකාරයේ කරුණු ගැන සාකච්ඡා වුණේ නැහැ.

ශ‍්‍රී ලංකා රජයේ විදේශ ප‍්‍රතිපත්තිය මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක්. එහිදී ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම මිත‍්‍රශීලිව කටයුතු කිරීම අපේ ප‍්‍රතිපත්තිය. ඒ නිසා අපේ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ සියලු රටවල් මිත‍්‍ර රටවල් ලෙසයි අපි සලකන්නේ. කිසියම් වූ තැනක ගැටුමක් තිබෙනව නම් අපි මැදිහත්කරුවෙකු විදියටයි කටයුතු කරන්නේ. ඒ නිසා ශ‍්‍රී ලංකා රජයට ඔබ කියන විදිහේ ගැටලුවක් කිසිසේත් මතුවන්නේ නැහැ.

ඔබේ රටේ දෙමළ භාෂාව කතාකරන ජනතාව ජීවත්වන ප‍්‍රදේශවල බලය විමධ්‍යගත කිරීමේ කි‍්‍රයාදාමය සෙමෙන් සිදු වන්නේ ඇයි?

අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ බලය බෙදීම පිළිබඳව 1987 සිට කටයුතු කරලා තිබෙනවා. ඒ තුළ පුළුල් බලය බෙදීමක් කරලා තිබෙනවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හරහා. දැනට තිබෙන්නේ පුළුල් බලය බෙදීමකට යාම නොව. දැනට තිබෙන බලය බෙදීම විධිමත් කිරීම 13 වන සංශෝධනයට අනුව. උතුරේත්, දකුණේත් සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම තිබෙන්නේ තමන්ට හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කිරීම තමයි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා මෙම අවස්ථාවේ අපට එවැනි ප‍්‍රශ්නයක් මතුවෙලා නැහැ.

ජනාධිපතිතුමනි, ඔබතුමා සඳහන් කළා ආරක්ෂක ප‍්‍රධානින් ඉන්දියාවෙන් ලැබුණු තොරතුරු ඔබතුමාට ලබා දුන්නේ නැහැ කියලා. ඒකට හේතුව කුමක් ද, විශේෂයෙන් පසුගිය වසරේ අග භාගයේ රටේ ඇති වූ දේශපාලන අර්බුදය මෙයට හේතු වුණා ද?

ප‍්‍රධාන වශයෙන්ම තිබෙන ප‍්‍රශ්නය ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටු කරලා නැහැ. ඔවුන් ඉතාමත් දුර්වලව කටයුතු කරලා තිබෙනවා. එතනින් එහා ප‍්‍රශ්නයක් මෙතන නැහැ. ඒ නිසා තමයි ඔවුන් ඉවත් කළේ. ඒ වගේම ඔවුන්ට විරුද්ධව විනයානුකූලව දැන් කටයුතු කරන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *