Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳීමට කැපවීමෙන් කටයුතු කිරීම එම සියලුදෙනාගේ වගකීමක්-ජනපති

Read Time7Seconds

ක්ෂේත්‍ර නිලධාරින්ට වඩා පුළුල් මහජන සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳීමට කැපවීමෙන් කටයුතු කිරීම එම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේ ඉදිකෙරුණු නිල සෙවණ කාර්යාලය අද (22) දහවල් ජනතා අයිතියට පවරා දෙමිනි.

ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ම ආවරණය වන පරිදි ඉදිකළ නිල සෙවණ කාර්යාල 180ක් සහ දුම්රිය නිල නිවාස සංකීර්ණ දෙකක් ජනතා අයිතියට පවරාදිම අද සිදු කෙරිණි.

තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම නිල සෙවණ කාර්යාල ඉදිකර තිබෙන අතර ග්‍රාම නිලධාරි වසම් තුළ සේවය කරන ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර යන රජයේ නිලධාරින්ගේ සේවාවන් එකම ස්ථානයකදී මහජනතාවට ඉටුකර ගැනීමේ පහසුකම නිල සෙවණ කාර්යාලය මඟින් හිමි වේ. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 30කට ආසන්නය.

මෙම නිල සෙවණ කාර්යාල 180 ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් පොළොන්නරුව, රවුම් පාර අසළ බැඳිවැව සහ නිශ්ශංක මල්ලපුර ඉදිකෙරුණු නිල සෙවණ කාර්යාල විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඒ හා සමගාමීව සෙසු නිල සෙවණ කාර්යාල පක්ෂ, විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහ ආණ්ඩුකාරවරු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිස අතින් විවෘත කෙරිණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *