Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනපති අගමැති සහ ඇමති හකීම්ගේ හජ් දින පණිවුඩය

Read Time16Seconds

සියළු ආගමිකයන් සමග සමානාත්මතාවයෙන් දිවි ගෙවීම සඳහා වු ශික්ෂණයක් ඇති වේවා !! ජනපති

අද දින හජ් සමරන සියලූ ඉස්ලාම් බැතිමතුන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුභාශිංෂණ පළ කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසන්නේ හජ් සැමරුම මගින් ඉස්ලාම්වරුන්ට සැපයෙන්නේ සියළු ආගමිකයන් සමග සමානාත්මතාවයෙන් දිවි ගෙවීම සඳහා වු ශික්ෂණයක් යැයි විශ්වාස කරන බවයි.

සමානාත්මතාව සහෝදරත්වය හජ් උළෙලේ අරමුණයි – අගමැති

සමානාත්මතාව සහ ස‍හෝදරත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොඩ නැගී ඇති ඉස්ලාම් දහමේ සියලුම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමුකරන අරමුණින් සංවිධානය වී ඇති බව පැහැදිලිය.

මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් තණ්හාව, ආශාව, ආත්මාර්ථය පසෙකලා තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදාහදා ගැනීම ඉතා වැදගත් බව ඉස්ලාම් දහමේ මූලික ඉගැන්වීමකි. සමාජය තුළ වන ඇති නැති පරතරය, විවිධ භේදයන් දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ද ප්‍රමුඛ අරමුණයි.

ලොව පුරා විසිර සිටින ඉස්ලාම් ජනතාව කිසිදු භේදයකින් තොරව එක්රැස්ව උරෙනුර ගැටී ලෝක සාමය වෙනුවෙන් දෙවියන් නමදින ජාත්‍යන්තර සමුළුවක් ලෙස ද හජ් උත්සවයට විශාල වටිනාකමක් ලැබේ.

මෙවර හජ් උත්සවය සමරන ඉස්ලාම් ජනතාව සමඟ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එක්ව අප රටේ සාමය වෙනුවෙන් ද එලෙසම කැප වී කටයුතු කරනු දැකීම මාගේ අපේක්ෂාවයි. හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි සහෝදර ඉස්ලාම් ජනතාවට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

රටේ පවතින දුෂ්කර තත්ත්වය,අසීරු වාතාවරණය තුරන් වී ජාතීන් අතර අවබෝධතාවය හා සුහදතාවය වර්ධනය වේවා ! –   නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා,

පරිත්‍යාගශීලීභාවය හා ඉවසිලිවන්තකම වඩ වඩාත් උගන්වන ඊදුල් අල්හා නමැති හජ්ජි උත්සවය දිනයේ දී රටේ පවතින දුෂ්කර තත්ත්වය,අසීරු වාතාවරණය තුරන් වී ජාතීන් අතර අවබෝධතාවය හා සුහදතාවය වර්ධනය වේවා යනුවෙන් සර්ව බලධාරී අල්ලාහ් ( දෙවියන් වහන්සේ) ගෙන් ප්‍රාර්ථනා කරන බව  නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය හජ්ජි උත්සව පණිවුඩයෙන් සඳහන් කර ඇත.

අමාත්‍ය හකීම් මහතා සිය හජ්ජි උත්සව පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ , ඉබ්රාහිම් ( නබි ) තුමාණන් එතුමාගේ පුත්‍ ඉස්මායිල් නබිතුමාණන් සහ හාජරා මව්තුමිය යන අය සිය ජිවිතයෙහි ඉටු කළ පරිත්‍යාගයන් ඓතිහාසිකව සිහි කරන සංකේතයක් හැටියට මෙම හජ්ජි උත්සවය ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු සමරති. එම සංකේතයෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු පතා ඉටු කරන හජ් වන්දනාව සඳහා ලොවේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් මක්කම නගරය සහ එහි අවට රැස්වීම,ලෝක මුස්ලිම් සමාජයේ එකමුතුභාවය පිළිබිඹු කරයි.

අප රටේ ජාතීන් අතර ඇති වී තිබෙන දූරස්ථභාවය වර්ධනය වී පවතින මොහොතක අපි තවත් ශුද්ධ වූ හජ්ජි උත්සව දිනයකට මුහුණ පා සිටින්නෙමු.මුස්ලිම් සමාජයට එරෙහිව වේදනාකාරී, පීඩනකාරී,වෛරය හා ක්‍රෝධය මතු කරන ප්‍රකාශන පවතින පසුබිමක බියෙන් හා සැකයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාවගේ සතුට හා සාමය ප්‍රාර්ථනා කරන්නෙමි.

මිනිස් ජිවිතයේ සියලු අවස්ථාවන්හි දී දුකේ දී, සහ සැපේ දී, දුප්පත්වූවද, පොහොසත්වූව ද පරිත්‍යාගශීලීව,ඉවසීමෙන් කටයුතු කිරීමට හජ්වන්දනාව මග පෙන්වයි. අප රටේ සහ ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත ජනතාව ශුද්ධ වූ හජ්ජි උත්සවය සමරන සියලු දෙනාගේ ජීවිතයට දීප්තිමත් ,පිබිදීම් ඇති වේවායි හෘදයංගම සුභාශිංසන එක් කරමි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *