Fri. Dec 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් වාද බේදයෙන් තොරව රට ගොඩනැගිමට එක්විය යුතුයි-ජනපති

Read Time15Seconds

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් වාද බේදයෙන් තොරව රට ගැන හැඟීමකින් යුතුව රට ගොඩනැංවීමට එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ කන්තලේ, මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද (31) පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අභිමානවත් හා ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන අපේ රට එදා කෘෂිකර්මාන්තයෙන් සශ්‍රීක රටක් බවයි.

ඉදිරියට ද රට ගොඩනැංවිය හැක්කේ කෘෂිකර්මාන්තය පදනම් කරගනිමින් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කාලගුණික සහ දේශගුණික විපර්යාස අභියෝගයක් වුව ද නව සැලසුම් ඔස්සේ එම අභියෝග ජයග්‍රහණය කළයුතු බව ද කියා සිටියේ ය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තමන් සුවිශේෂ වැඩකොටසක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුූහුණදී සිටින ජල ගැටලුවට විසඳුම් සොයමින් වැව් ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ වැඩසටහනක් දියත් කළ අතර දිස්ත්‍රික්කයේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ඉලක්කය ඉදිරි මාස දෙක තුන තුළ දී සාර්ථකව අවසන් කෙරෙන බව ද සඳහන් කළේය.

අද පස්වරුවේ මොරවැව ඉන්ද්‍රාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද සිදු කළේය.

අනතුරුව පැවති උත්සව සභාවේ දී දහම් පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ලබාදීම, ගැබිණි මව්වරුන් වෙත ප්‍රදානයන් සිදු කිරීම සහ දහම් පාසල් ගුරුවරුන් වෙත තිළිණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

විහාරාධිපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නායක හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිතුමා අතින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුන්හේනේ මෙත්තාරාම නායක ස්වාමින් වහන්සේ, මොරවැව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් පූජ්‍ය කලුතර සෝමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *