Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඩිජිටල් අවකාශය තුළ කාන්තා හඬට ඉඩක්

Read Time56Seconds

ජංගම දුරකථන කතා කීමේ කලාව සහ නව මාධ්‍ය පිළිබඳව කාන්තා සංවිධානවල හැකියා සංවර්ධන පුහුණු වැඩසටහන­

“ශ්‍රී ලංකාවේ කුටුම්භයන්ගෙන් 25% ක්ම කාන්තාවන් ප්‍රධානීන්වෙති. පශ්චාත් යුධ ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටළු ගත් කළ කාන්තාවන් වැඩිපුරම පීඩාවට පත්ව සිටිති. මාධ්‍යවේදීන් මෙම තත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය”

ශ්‍යාමලා ගෝමස්

විධායක අධ්‍යක්ෂිකා, Centre for Equality and Justice

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහෝ විට ග්‍රාමීය කාන්තාවන් මුහුණ දෙන සමාජීය, ආර්ථික දුෂ්කරතා වාර්තාකරනය බැහැර කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය,  කාන්තාවන් ‘අලෙවිකරණ මෙවලමක්’ ලෙස යොදා ගැනීම ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අසංවේදී වාර්තාකරණයේ ලක්ෂණ මොනවට පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යයන්හි ශීඝ්‍ර වර්ධනයත් සමඟ සෑම පුද්ගලයෙකුටම එය ඔවුන්ගේ දෛනික මෙන්ම වෘත්තීය කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මිලියන හතර ඉක්මවතත් ඉන් බහුතරයකට, විශේෂයෙන් ගැහැණු  ළමුන් සහ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන්ට සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාවිත තුළින් සමාජ උන්නතිකාමී ලෙස තොරතුරු හුවමාරු කර ගැනීමේ තාක්ෂණික දැනුම ඉතාම අවම මටමක් පෙන්නුම් කරයි.

මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවය හඳුනාගත් ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX), ඒක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ USAID හි සහාය ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උදෙසා මාධ්‍ය සවිබල ගැන්වීමේ (MEND) වැඩසටහන යටතේ Vibrant Voices වැඩසටහන දියත් කරන ලදී. Vibrant Voices වැඩසටහනෙහි සමස්ත ඉලක්කය වන්නේ නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙවලම් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටලු සඳහා සමාජ මාධ්‍ය අවකාශය තුළ වැඩි ඉඩක් වෙන්කරදීමයි. ඒ සඳහා විවිධ කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සංවිධානය වූ ආයතන හා පුද්ගල කණ්ඩායම් තුළින් තෝරාගත් නියෝජිතයන්ගේ ධාරිතා වර්ධනයකිරීමේ අරමුණින් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරමින් ඔවුන්ගේ ප්‍රජාවේ ජීවත්වන කාන්තාවන් මුහුණ දෙන ගැටලු වීඩියෝ හා  බහුමාධ්‍ය කතන්දර ලෙස නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය සඳහා අර්ථවත් උපදේශනයක් ගොඩනැගීම මෙම වැඩසටහන දියත් කිරීම පුමුඛතම අරමුණයි.

පළමු අදියරේදී, මඩකලපුව, පොළොන්නරුව, බදුල්ල, සහ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා සංවිධාන හතරක් සහ එක් සංක්‍රාන්ති ලිංගික සමාජභාවි සංවිධානයක් ප්‍රතිලාභ ලැබීය. “මහජනතාව දැනුවත් කළ හැකි ප්‍රවෘත්තිමය කතාවක් හදුනා ගැනීම, වාර්තා කිරීමේ ක්‍රමවේදයන් ඉගෙන ගැනීමට හා ප්‍රායෝගිකව ග්‍රහණය කර ගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවක් විය,” පොළොන්නරුවේ අපේ ශක්ති කාන්තා සංවිධානයේ යසවතී වාසල  මහත්මිය ප්‍රකාශ කළාය. පුහුණු වැඩසටහනට සහභාගී වීමෙන් පසු තම ප්‍රජාව තුළ සිත් ඇදගන්නාසුළු කථා ප්‍රචාරය කිරීම සඳහා වෙනස සංක්‍රාන්ති සමාජවාදී ජාලය තමන්ගේම ‘කතන්දර කීමේ ඒකකයක්’ පිහිටුවනු ලැබීම කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරන සාධකයක් විය.

මඩකලපුවේ නැගෙනහිර සමාජ සංවර්ධන පදනමේ ක්‍රිස්ටමරි රාජේශ්වරන මහත්මිය සිය අත්දැකීම් තවදුරටත් සිහිපත් කරමින් “ESDF හි අපි ධාරිතා වර්ධන වැඩසටහන් වැනි ව්‍යාපෘති රාශියක් කරනවා. ඒවා ලේඛනගත කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් විතරයි. බහු මාධ්‍ය භාවිතා කරමින් අපගේ කාර්යයන් දෘශ්‍යමය ආකාරයෙන් ලේඛනගත කිරීම සඳහා Vibrant Voices වැඩසටහන අපට බෙහෙවින් උපකාරී වුණා. ඒවා වඩාත් සිත් ඇදගන්නාසුළු හා වැඩි ප්‍රජාවක් කරා ළඟා විය හැකි යැයි අපි විශ්වාස කරනවා. මඩකලපුවේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග වාර්තා කිරීම පමණක් ‌නෙවෙයි, රට පුරා සිටින අනෙකුත් කාන්තාවන් දිරිගැන්වීම සහ පෙළඹවීම සඳහා මෙය සාර්ථක කථාකීමේ කලාවක්”.

පළමු අදියරෙහි ලද සාර්ථකත්වයත් සමඟ, ආන්තික ප්‍රජාවන්ගේ කථා ජනතාව අතරට හා බළධාරීන්ගේ අවධානයට යොමු කළ හැකි සාර්ථක මෙවලමක් වශයෙන් MoJo පුහුණුව කන්තා සංවිධාන නියෝජිතයන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින් SDJF ආයතනය Vibrant Voices වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා කටයුතු සියල්ල මේ වනවිට සම්පාදනය කර තිබෙනවා.

කොළඹ, මහනුවර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, අම්පාර, පුත්තලම සහ මන්නාරම් දිස්ත්‍රික්ක වලින් කාන්තා සංවිධාන 8 ක් නියෝජනය කරමින් කාන්තා නියෝජිතයින් 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් Vibrant Voices වැඩසටහනෙහි දෙවන අදියර 2019 සැප්තැම්බර් 13 සිට 17 දක්වා මීගමුව Goldi Sands හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

සෑම සංවිධානයකම තෝරාගත් කාන්තා සාමාජිකයින් සඳහා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කිරීම (MoJo) පිළිබඳ ව්‍යූහාත්මක පුහුණුවක් ලබා දෙනු ඇත, සහභාගිවන්නන් හට මූලිකවශයෙන් කැමරා හැසිරවීම, ජංගම දුරකථන ඇටවුම් (Apps), වීඩියෝ සංස්කරණය, සමාජ මාධ්‍ය  භාවිතය හා ප්‍රචාරණය, කතන්දර කීමේ ශිල්පීය ක්‍රම, සම්මුඛ සාකච්ඡා ක්‍රම සහ ඩිජිටල් උද්දේශනය පිළිබඳ දැනුමත්, මූලික වශයෙන් සම්පාදනය වනු ඇත.

මෙම වැඩමුළුවට ක්‍ෂේත්‍ර චාරිකා දිනයක් ද ඇතුළත් වන අතර එහිදී පුහුණුවෙන් ලබා ගත් න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සහ ඔවුන්ගේ පළමු තනි MoJo කථාව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් හා අවස්ථාව සලසා ඇත. වැඩමුළුව අවසානයේදී SDJF උපදේශකයින්ගේ සහාය ඇතිව සෑම ආයතනයක්ම ඔවුන්ගේ දිස්ත්‍රික්කවල කාන්තා සහ අනෙකුත් ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටළු පෙන්නුම් කෙරෙන MoJo කථාන්දර 6ක් නිෂ්පාදනය කළ යුතුව ඇත.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *