2020ට අයවැයක් නොමැති බව අගමැති කියයි

 

මෙම වසර අවසානයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බැවින් 2020 වසර වෙනුවෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා විසින් අගමැතිවරයාගෙන් විමසන ප‍්‍රශ්න වටය යටතේ විමසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. .

මීට පෙර මේ හා සමාන අවස්ථාවලදී පෙර සිටි නායකයින් අනුගමනය කළ පූර්වාදර්ශයන්ට අනුව අතුරු සම්මත ගිණුමක් ප‍්‍රථමයෙන් ඉදිරිපත් කරන බවත්, අතුරු සම්මත ගිණුමක් මඟින් රජයේ මුදල් අවභාවිතයක් සිදු නොවන බවත් මැතිවරණයෙන් අනතුරුව පත්වන නව අමාත්‍ය මණ්ඩල සංයුතියට හා රජයේ ප‍්‍රතිපත්තිවලට අනුව 2020 වසර සඳහා අයවැය සකස් කිරීම වඩා ප‍්‍රායෝගික වන බැවින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියයි.

අගමැති වැඩිදුරටත් දැක්වුයේ මෙසේයි,

2020 වසර සඳහා සාමාන්‍ය ක‍්‍රමවේදය අනුව 2019 වසර තුළදී අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තියෙනවා. නමුත් ආණ්ඩුව විසින් එම අයවැය ලේඛනය 2020 වසර තුළදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 2019 වසර අගදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි. ඒනිසා මීට කලින් මේ හා සමාන අවස්ථාවලදී අනුගමනය කළ පූර්වාදර්ශයන්ට අනුව අතුරු සම්මත ගිණුමක් පළමුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණයෙන් අනතුරුව පත්වන නව අමාත්‍ය මණ්ඩල සංයුතියට හා රජයේ ප‍්‍රතිපත්තිවලට අනුව 2020 වසර සඳහා අයවැය සකස් කිරීම වඩා ප‍්‍රායෝගික වන බැවින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්තා.

අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම මගින් රජයේ මුදල් අවභාවිතයක් වෙන්න ඉඩක් නෑ. අතුරු සම්මත ගිණුම මගින් දැනට ආදායම් ලැබෙන ක‍්‍රම වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම පවතින වියදම් සඳහා පැහැදිලිවම මුදල් වෙන් කරනවා.

අතුරු සම්මත ගිණුම ලබන වසර සඳහා මිස මේ වසර සඳහා නෙවෙයි. ආණ්ඩුව මේ මුදල් මැතිවරණය සඳහා යොදවනවා නම් ඒ සඳහාත් තීරණයක් ගත යුතුයි. 1988 ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව පැවැත්වූවා. 1999 දීත් ජනාධිපතිවරණය අවසන් වෙලා තමයි පාර්ලිමේන්තු මැතිවරණය කැඳෙව්වේ. මේ දෙකේදීම ජනාධිපතිට බලය තිබුණා පාර්ලිමේන්තුව විසුරුවන්න. අද පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ එකඟත්වය තිබෙනව නම් පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මේ ප‍්‍රශ්නය පිළිබඳව තීරණය ගන්න තිබෙන්නේ පාර්ලිමේන්තුව හා පක්ෂ නායකයින් මඟින්.

පළමුව ජනාධිපතිවරණයෙන් පසුව රජයේ මුදල් පාලනය පිළිබඳව අතුරු සම්මත ගිණුම භාවිතය පිළිබඳව රාජ්‍ය මුදල් කාරක සභාව කැඳවා තීරණයක් ගත යුතුයි. ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගතයුත්තේ පාර්ලිමේන්තුව විසින්.

ජනාධිපතිවරණය නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී පැවැත්වෙනවා. ඒ නිසා ඒ කාලයේදී ප‍්‍රශ්න පැන නගිනවා. ඒ නිසා ඒ කාලයේදී ආදායම් තත්ත්වය දැනගත යුතුයි. ආර්ථිකය පිළිබඳව අවශ්‍ය නම් විවාදයක් ලබාදිය හැකියි. දැනට සිදුව ඇත්තේ පාස්කු සිද්ධියෙන් පසුව මාස කිහිපයක් අපේ රටේ ආදායම් අඩු වුණා. නමුත් දැන් එය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. අපි උත්සාහ කරන්නේ ප‍්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමටයි. පසුගිය වසරේදී අපි එය සිදු කළා. අපි මේ වසරේදී බලන්නේ එම අතිරික්තය සම සමව පවත්වාගෙන යන්නයි. එන වසරේදී අපි ප‍්‍රාථමික අතිරික්තය වැඩි කළා. රටේ වියදම් වැඩි කරන්න බැහැ. එසේ කළොත් හිඟයක් ඇති වෙනවා. අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය අයවැය පරතරය අඩුකිරීමයි. එහිදී වියදම් ස්වභාවිකවම පාලනය වෙනවා. අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන්න පුළුවන්. පත්වන ජනාධිපතිවරයා අමාත්‍යාංශ වෙනස් කළත් ශිර්ෂ වශයෙන් පවතින ආයතන වෙනස් වන්නේ නෑ. අතුරු සම්මත ගිණුමෙන් ශීර්ෂවලට නිසා ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වගේම, අතුරු සම්මත ගිණුමක් මගින් වෙන් කරනු ලබන ප‍්‍රතිපාදන රටේ පවතින නීතිරීති මුදල් රෙගුලාසි ඇතුළත් රජයේ චක‍්‍රලේඛ අනුව වියදම් කළ යුතු වෙනවා. අතුරු සම්මත ගිණුම විගණනයකට ද ලක් කරනවා. 2019 වසරේ අයවැයේ හා පරිපූරක ඇස්තමේන්තුවල නිශ්චිතව දක්වා ඇති වියදම් සඳහා පමණක් අතුරු සම්මත ගිණුම මගින් වියදම් දැරීමට ප‍්‍රතිපාදන සැලසෙන නිසා පාර්ලිමේන්තුවේ දැනට සම්මත වෙලා තියෙන අයවැයේ නිශ්චිත භාණ්ඩ සහ සේවාවන් සඳහා පමණයි වියදම් කළ හැකි වන්නේ.

දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් සඳහා පමණක් මුදල් වෙන්කරන නිසා සහ අලූත් ව්‍යාපෘති සඳහා බොහෝවිට ඉඩප‍්‍රස්ථා නොමැති නිසා, අතුරු සම්මත ගිණුම නිසා රජයේ මුදල් අවභාවිත වීමේ කිසිම ඉඩකඩක් සැලසෙන්නේ නෑ. ඒ වගේම පවත්නා අණපනත්වලට අනුව රජයේ බදු හා අනෙකුත් ආදායම් සාමාන්‍ය පරිදි එකතුවන අතර අතුරු සම්මත ගිණුමෙන් ඒවා අඩුවීමක් සිදුවෙන්නේ නෑ.

අතුරු සම්මත ගිණුම 2019 වසරේ විසර්ජන පනත හා 2003 අංක 30 දරණ මූල්‍ය කළමනාකරණ වියදම් පනතෙහි ප‍්‍රතිපාදනවලට යටත් වෙනවා. ඒ නිසා දැනට පාර්ලිමේන්තුව මගින් සම්මත කර තියෙන ආදායම් හා රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය අතුරු සමම්ත ගිණුම මගින් ද පිළිබිඹු වන නිසා රටේ සංවර්ධන ක‍්‍රියාවලිය එම අයුරින්ම පවත්වාගෙන යෑමට බාධාවක් සිදු වන්නේත් නැහැ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here