Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉතිහාස ගත වන 7වන විධායක ජනාධිපති තේරීමේ සටන ඇරඹේ

Read Time24Seconds

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනපතිවරයා තේරීම සඳහා පවත්වනු ලබන ඡන්ද විමසීම අද (16දා) උදෑසන 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වේ.

මෙවර ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයන් එක්කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූහයක් සුදුසුකම් ලබා ඇති අතර, මෙම පිරිසෙන් හයලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහතක් තැපැල් ඡන්ද දායකයන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පසුගිය මස 31 හා මේ මස 01 වැනි දින හා 4 සහ 5 යන දිනවල දී පැවැත්විණි.

පළාත් 09 ආවරණය වන පරිදි ඡන්ද පොළවල් දොළොස් දහස් අටසිය පනස් හයක් පිහිටුවා තිබෙන අතර, 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් සියලුම ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු තරඟ කරන අතර, මේ නිසා ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක් බවට පත්වී තිබේ. මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ දෙකකට අධික රාජ්‍ය සේවකයන් ඍජුවම රාජකාරියේ යොදවා තිබෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය හතළිස් තුනකි.

ඡන්දවිමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැට දහසකට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජංගම පොලිස් සංචාර හා මාර්ග බාධක යෙදවීමට සැලසුම් කර ඇති අතර, පොලීසියේ සහයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමටද නියමිතය.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආසන්නයේ මාර්ග බාධක යෙදීමටත් සැලසුම් කර තිබේ.

පළමු ඡන්ද ප්‍රතිඵලය අද (16දා) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වැදීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිගද අඟල් 26ක් පමන වනවා. ඒ අනුව එයද මෙරට මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව ලෙසයි ඉතිහාස ගත වන්නේ.

පෙර පැවති මැතිවරණවලදී ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් කෙරුණු අතර මෙවර ජනාධිපතිවරණයේදී තවත් පැයක අතිරේක කාලයක් ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබාදී තිබීමද විශේෂත්වයකි. මේ අතර ජනාධිපතිවරයා, බලයේ සිටින අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂනායකවරයා ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් නොවන පළමු අවස්ථාවද මෙය වනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එකම අපේක්ෂිකාව වන්නේ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ආචාර්ය අජන්තා වීරසිංහ පෙරේරායි.

1994 වසරේ පැවති ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තරග වැදීමෙන් පසු ජනාධිපතිවරණයක් සදහා කාන්තාවක් තරග වදින පළමු අවස්ථාවද මෙය වනවා. හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු මෙරට ජනාධිපතිවරණයක් සදහා තරග වදින පළමු අවස්ථාවද මෙය වේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්‍ෂවලින් නොමැතිව ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින් මෙහිදී වෙනත් පක්ෂවලින් මෙවර ජනාධිපතිවරණය සදහා තරග වැදීමද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා සිය අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර ඇත්තේ 2005 වසරෙන් පසුවයි. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරන මැතිවරණය ලෙසයි මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වන්නේ. මෙවර ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි 750කට වැඩි මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය භාවිත කිරීමට දෙලක්ෂ 31,229 ක නව ඡන්ද දායකයින් පිරිසක් සිටීමද මෙවර ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක්. 2015 ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මෙවර ජනාධිපතිවරණය සදහා නව ඡන්ද දායකයින් නව ලක්‍ෂ 47,607 දෙනෙකු ලියාපදිංචි වී සිටියි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ඡන්ද දායකයින් සංඛ්‍යාව 17 ලක්‍ෂ 51,892 ක්. වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී සිටින දෙවන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 16 ලක්‍ෂ 70,403 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *