Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කළ යුතුයි: වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය

Read Time49Seconds

වෙබ් මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදුකරන විමර්ෂණ හරහා සිදුවන මාධ්‍ය මර්දනය හෙළාදකින බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සදහන් කරයි.

නව රජය පත් වී ඉතාමත් කෙටි කාලයක් තුළ දිගින් දිගටම අවසන් වු ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විපක්ෂව කටයුතු කල මාධ්‍ය හා මාධ්‍යවේදින් මර්දනය කිරීමට උත්සහ කිරීම පිළිබඳව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය විරෝධය පල කරමු.

2019 නොවැම්බර් මස 17 වෙනිදා නව ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය සමගම ලංකාවේ බොහෝ වෙබ් අඩවි වලට හා මාධ්‍යවේදීන් හට ඍජු හා වක‍්‍ර බලපෑම් මෙන්ම මර්දනයන් එල්ල වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මැතිවරණ සමයේ හා ඉන් පෙර පවතින රජයට විරුද්ධ ව හා ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසට සහය දක්වමින් සිය අදහස් පල කළ මාධ්‍යවේදීන් හා වෙබ් අඩව් සංස්කාරකවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

ඒ අනුව පසුගිය දා “the leader” අන්තර්ජාල පුවත් සේවයට සම්බන්ධව පුවත් නිවේදකයෙක් ලෙස කටයුතු කළ ධනුෂ්ක සංජය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය 8 ක් ප‍්‍රශ්න කොට ඇති අතරම හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ගේ මාධ්‍ය සම්බන්ධිකාරක හා මහරගම ප‍්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ධනුෂ්ක රාමනායක විසින් පවත්වාගෙන ගිය Newshub වෙබ් අඩවි කාර්යාලය පරික්ෂා කිරීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරින් ප‍්‍රමාණයක් පැමිණ තිබේ.

එසේම අද (28) Voicetube.lk වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරණ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය 6 ක පමණ කාලයක් ප‍්‍රශ්න කොට තිබේ.මේ සියල්ලටම අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ දි සජිත් පේ‍්‍රමදාස වෙත සහය පල කරමින් කටයුතු කළ වෙබ් අඩවි කිහිපයක සංස්කාරකවරුන් හා මාධ්‍යවේදීන් ගණනාවක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී කැඳවීමට නියමිත බවත් අප වෙත දැන ගන්නට ලැබී තිබේ.එමෙන්ම පසුගිය දා තානාපති කාර්යාලය සේවිකාවක බලහත්කාරයෙන් රදවා ගනිමින් ප‍්‍රශ්ණ කිරිම වැනි ක‍්‍රියාකාරකම් හරහා මර්දනයේ රාජ්‍ය හස්තය ක‍්‍රියාත්මක වන බව පැහැදිලිවම දක්නට හැකිය.

මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අගයන සමාජයක් වෙනුවෙන් පෙනි සිටින සංවිධානයක් ලෙස මෙම සිදුවන මාධ්‍ය මර්දනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානවහිමිකම් සුරකින සමාජයකට ඔබින නොවන බව අපි පැවසීමට කැමැත්තෙමු. ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක විකල්ප මතයන්ට හා සාධාරණ විවේචනයට අයිතියක් තිබිය යුතු අතර නීතියේ ආධිපත්‍ය සුරකින ස්වාධීන සමාජයක් ඒ හරහා නිර්මාණය වන බව ද අපි තරයේ විශ්වාස කරමු.

එසේම 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයේ 14 (1) ව්‍යවස්ථාවේ (අ) අතුරු ව්‍යවස්ථාව මගින් හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 19 වන වගන්තිය මගින් ද සහතික කොට ඇති නිදහසේ කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලංකාවේ සියලූ පුරවැසියන්ට එක ලෙස හිමි විය යුතු බව අප විශ්වාස කරන අතරම එම අයිතිවාසිකම ආරක්ෂා කිරීමට, ප‍්‍රවර්ධනය කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් රජයේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බල ත‍්‍රිත්වය වෙත පවරා ඇති වගකීම එලෙසම ආරක්ෂා කිරීමේ වගකීමක් ද සෑම පාලකයෙකු වෙතම ඇති බව ද විශ්වාස කරමු.

එබැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට, සාධාරණ විවේචනයට සියලූ දෙනාට ඇති අයිතිය ගරු කරමින් දැනට ක‍්‍රියාත්මක මෙම මාධ්‍ය මර්දනය නවතා 2015 සිට ලංකාවේ ක‍්‍රමයෙන් වර්ධනය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය හා මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු නව රජයද ක‍්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ස්තුතියි!

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *