Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියේ සියළු රටවල් පැරදූ ලංකාවේ විශ්මිත තොප්පිය

Read Time13Seconds

ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 වැනිදා සිට 29 වැනිදා තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පැවත්විය. ඒ සඳහා යුරෝපය, ආසියාව සහ අමෙරිකාව නියෝජනය කරමින් පිළිගත් විශ්වවිද්‍යාල රැසක සිසුන් පිරිස් සහභාගී වුහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් වන ඒ.සී. ගම්මන්පිල, ඒ.පී. විජේසිංහ, ටී.එන්. වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්. අමාජීව, ඩී.වයි.ජයසිංහ සහ පී. රවීන්ද්‍ර, එස්. ද . සිල්වා යන සිසුන් කණ්ඩායම මෙම නව නිපැයුම අංශය සඳහා ඉදිරිපත් කළ “විශ්මිත තොප්පිය” නමින් නව නිපැයුමක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව එම සියලුම සිසුන් ඉදිරිපත් කර තිබූ නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ හැරී පෝටර් තොප්පිය මෙම ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වීය.

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) ආකෘතියේ නව නිපැයුමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අංශයේ සිසුන් විසින් නිපදවා තිබේ.

මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක දත්ත ඇසුරින් ක්‍රියාත්මක වේ. මෙම තොප්පිය පැළඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් ඒ බව මෙම තොප්පිය පැළඳ සිටින පුද්ගලයාට තොප්පිය තුළ සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙමක් සිදු කරයි.

ඊට අමතරව “ඔටිසම්” රෝගය වැළඳි ඇති දරුවන් නිතරම සමාජශීලී නොවන නිසාත් ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට දක්වන භය සහ අකමැත්තට මෙම තොප්පිය උපකාරීවෙයි. එම දරුවන්ට මෙම “ඔටිසම්” රෝගී තත්ත්වය වැළඳී ඇත්ද නැද්ද යන්න මුලින්ම අනාවරණය කර ගැනීමට මෙම තොප්පිය සමත් වන අතර එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් මෙම තොප්පිය පැළඳීමෙන් ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර වේ.

එම නිසා මෙය සුවිශේෂී නිපැයුමකි. මෙම සුවිශේෂී නිපැයුම් කරුවන් ඊයේ (01) දින රාත්‍රි 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන්ව සිසුන්ගේ දෙමාපියන්, එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් ද ගුවන් තොටුපලේදී සාදරයෙන් පිළි ගත්තේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *