කොරෝනාව කොතැනට ද ?

මාර්තු 11වනදා පළමු COVID-19 ආසාදිතයා වාර්තා වීමේ සිට COVID-19 ආසාදිතයින් ගණන 100ක් දක්වා වැඩි වීමට ගතවුණේ දින 57 කි. එම ගණන 200 වීමට ගතවුණේ දින 19 කි. නමුත් 200, 300ක් වූයේ දින 8 කිනි. 300, 400ක් වූයේ දින 4 කිනි. 400, 500ක් වූයේ දින 2කිනි. ආසාදිතයින් ගණන මෙලෙස අ(න)පේක්ෂිත ලෙස වැඩි වී පැමිණියද, එම වැඩිවීමේ වේගය දැන් ක්‍රමයෙන් අඩුවීමට පටන් ගෙන ඇති සෙයකි. ඒ, COVID-19 ආසාදිතයින් ගණන 500, 600ක් වූයේ දින 2කින් වීමද, 600, 700 ක් වීමට දින 4ක්ම ගත වී ඇති ලෙසද වාර්තා වන බැවිනි. තවද, වාසනාවකට මෙන් ආසාදිතයින්ගෙන් 190ක් පමණ මේ වනවිට සුවවී පිටව ගොස් ඇති අතර, මරණ ගණන සටහන්ව ඇත්තේ 8 කි.

ආසාදිතයින් 700ක් ඉක්මවා සිටින අවස්ථාවක වුවද, ඉන් දිවි අහිමි වූයේ 8ක් පමණක් ලෙස වාර්තා වීම ගැන ඉතා සැළකිලිමත්ව සිතා බලමු. මෙම තත්ත්වය ‘ආසාදිතයන් මෙපමණකට මරණ මෙපමණකි’ ලෙසින් ප්‍රතිශතයක් වශයෙන් දකින විට, අපට මෙහි ඇති බැරෑරුම් බවක් නොපෙනේ. නමුත්, මෙය දැනට මරණ 9 කට පමණක් සීමා කර ගැනීමට දිවයින පුරා සිටින වෛදවරුන්, හෙද හෙදියන්, රෝහල් සේවකයින්, මහජන සෞක්‍ය පරීක්ෂක වරුන්, ගිලන් රථ රියදුරන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ආදී ලෙස ඉමහත් විශාල පිරිසකගේ අපරිමිත කැපවීමක් ඍජු ලෙස දායක වී තිබුණි. ඊට අමතරවද, විවිධ විශේෂඥයින්, තාක්ෂණික ශිල්පීන් ඇතුළුව රාජ්ය හා රාජ්ය නොවන විවිධ පිරිස් වල විවිධ දායක වීම්ද නොයෙකුත් ආකාරයෙන් උපකාරී විය.

මෙලෙස ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ඇප කැප වන මේ සියලුම පිරිස ගණන් කළ විට එය එක්තරා නිශ්චිත අගයකට පත් වේ. ඒ, එලෙස ප්‍රතිකාර කිරීම ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ නොහැකි, විශේෂ වූ ක්‍රියාවලියක් වන බැවිනි. ආසාදිතයින් හට ප්‍රතිකාර කරගෙන යාමේදී, ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය හා තවත් යම් යම් සාධක කරණ කොට ගෙන පහසුවෙන් සුව නොවන රෝගීන් ද සිටිති. ඔවුන් හට ප්‍රතිකාර කිරීමේදී, ventilators ආධාරයෙන් කරනු ලබන යාන්ත්‍රික සංවාතනය වැනි සුවිශේෂී ප්‍රතිකාර සඳහා ඒවා කළ හැකි විශේෂ පහසුකම් නැතිවම බැරි තත්ත්වයක් උද්ගත වේ. ICU ඇඳන්ද ඇතුළුව, මෙවැනි සුවිශේෂී පහසුකම් ගැන සිතා බැලුවද, ඒවාද යම් නිශ්චිත ප්‍රමාණයකට සීමා වන බව අප පිළිගත යුතුය. ආසාදිතයින් 700ක් ඉක්මවුවද, මරණ ගණන 8 කට සීමා කරගැනීමට හැකිවූයේ, මෙවැනි නිශ්චිත පහසුකම් ප්රමාණයක් සහ සීමා සහිත මානව සම්පත් ප්රමාණයක් ඇති තත්ත්වයකදී බව මින් අපට පැහැදිළි වේ.

ඉතින්, ආසාදිතයින් ගණන දිනෙන් දින සිඝ්‍රයෙන් වැඩි වන්නට වන විට, ඒ අයට ප්‍රතිකාර කිරීමේ කාර්යක්ෂමතාව සීමා වී, ඉහත කී හේතූන් ද කරණ කොටගෙන අසාධ්ය වන රෝගීන් ගණන තව තවත් වැඩි වේ. රෝගීන් කෙසේ වැඩි වුවද, මුලු දිවයිනටම ඇත්තේ 600 කටත් අඩු, සීමා සහිත ICU ඇඳන් ප්රමාණයක් බැවින්, මරණයෙන් බේරා ගැනීමට ඇති හැකියාවන්ද සීමාවේ. එහි ප්රතිඵලය වන්නේ, මරණ ගණන වැඩි වීමට පටන් ගැනීමයි. එවන් තත්ත්වයක් දරුණු ලෙස වර්ධනය වුවහොත් කුමක් වන්නේදැයි ඉතාලියේ රෝහල් වලින් වාර්තා වුණු අවාසනාවන්ත සිදුවීම් දෙස බැලීමෙන් වටහා ගත හැක. මෘත ශරීර බහාලන body bags 1000ක් ලෝක සෞඛ්ය සංවිධානයෙන් ඉල්ලා සිටීමට හේතු කාරක වී තිබුණේ කවරක්දැයි දැන් ඔබටත් මටත් පැහැදිලිය.

එහෙත්, “මැතිවරණයක් පැවැත්වීමට ‘COVID-19 වසංගතය නිසා තිබූ අවහිරතාවය’ දැන් ලිහිල් වෙමින් පවතී” යනුවෙන් කරුණු කාරණා දිස් වෙමින් පවතියි. පසුගිය දින කිහිපය තුළ, නිරෝධායනය සඳහා යොමුකළ හා කරන්නට සිටි ඇතැම් පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු මිය ගියේ හෘදයාබාධ, මීමැස්මොර, මීඋණ ආදී රෝග වලින් යයි වාර්තා වන තොරතුරු සාවද්ය බවද ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල හරහා ඇසුණු අවස්ථා ඇත. CPR පරීක්ෂණ ප්රතිඵල ලැබීමට ප්රමාද වන බව පවසමින්, එම මෘත දේහයන් අදාහනය කරනු ලබන්නේද COVID-19 මරණ සඳහා අවශ්ය වන body bags වලම බහාලමිනි. මෑතක සිට එකවරම මෙවන් සැක කටයුතු සිදුවීම් සිදු වීමට පටන් ගෙන ඇත්තේ ඇයිදැයි යන්නද දැන් තවත් ප්‍රශ්නාර්ථයක් අපට ඉතිරි කර ඇත. එකම තත්ත්වයක් / සිද්ධියක් ගැන වුවද රජයේ වෛද්ය නිලධාරි සංසදයෙන් (GMOF) දක්වන අර්ථ නිරූපණය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් (GMOA) දක්වන දෙයට වඩා වෙනස්ය.

මේ අතර, කරුණු කාරණා කෙසේ වුවද, මේ සියලු තොරතුරු ආදිය දේශපාලනික අර්ථ දැක්වීම් වලින් විකෘති කර ගන්නා අයද අප අතර සිටීම ඉමහත් අවාසනාවකි. ‘අසවල් ආණ්ඩුව තිබුණේ නම් මෙහෙම වෙන්න ඉඩ තිබුණා’ කියා පවසන බොහෝ දෙනෙක්, මීට කලින්, මුල් අනතුරු ඇඟවීම් වලට අවනතව, ගුවන්තොටුපොළ ක්රමවත් ලෙස පාලනය කොට රටට ඇතුළු වන සියලුම අය විධිමත් පාලනයක් යටතේ පරීක්ෂා සහගතව නිරෝධායනය කිරීමට පියවර ගත්තේනම්, lockdown කිරීමකින් තොරව වුවද, ඇඳිරිනීතියකින් තොරව වුවද, පැතිරීම මනා ලෙස පාලනය කරගත හැකිව තිබූ බව නොදන්නා සේය. එවැන්නක් නොකළ බැවින් ඇඳිරිනීතිය පැනවීමට සිදුවී, රටේ ආර්ථිකයට සිදුවූයේ කුමන විපතක්ද ? ගොවීන්, ධීවරයින් මෙන්ම, සංචාරක, ගමනාගමන ආදී ක්‍ෂේත්‍ර වලද, අපනයන නිෂ්පාදන ක්ෂේත්රයෙහි නියුතු අය හටද, ​කුලී වැඩ කොට එදිනෙදා දිවි ගැට ගහගන්නා අය හටද ඇඳිරිනීති තත්ත්වයක් තුළ, ආදායම් අවහිර වීමෙන් සිදු වූයේ කවර විපතක්ද ?

මෙවන් මොහොතක, මැතිවරණයක් පැවැත්වීමෙහි ඇති අවදානම ගැන වචනයක් හෝ කතා කළහොත් එම තැනැත්තා UNP කාරයෙක් ලෙස දැකීමට එහායින් කිසිදු බුද්ධියක් විකසිත නොවේ. අන්යයන්ගේ අදහස් මතවාද අප රටේ සංවාදයට ගැණෙනුයේ එලෙසිනි. කාගේත් කාගේත් විචාර බුද්ධිය සමාජය විසින් මොටකර ඇත්තේ එලෙසිනි. නවග්රහයින් ගෙන් යැපෙමින් ජීවිකාව ගෙන යන්නෝ, මෙහිදී කිසිවක් කියා ගත නොහැකිව වල්ගතරු, ග්‍රාහක ආදියද සබඳිමින් තවත් අර්ථකථනයන් දෙති. බෝම්බයක් පිපිර ගිය පසු එය, V හැඩයෙන් පිපිරියේද, Y හැඩයෙන් පිපිරියේද යනුවෙන් විවිධ අර්ථකථන දෙන විශාරදයින් බොහෝ සිටියද, රෑ වැටුණු වළෙහි දහවලද වැටෙනුයේ නම්, යළි යළිත් රැවටේනම්, එය ප්‍රශ්ණයකි.

මේ අතර, විවිධ රටවලින් සහ, ශ්‍රී ලංකාව තුළවූ විවිධ ආයතන වලින්ද දැනටමත් මිලියන ගණනින් ආධාර මුදල් ලැබී තිබියදී, කිසිම රුපියලක / ඩොලරයක අධාරයක්වත් ලැබී නැති අයුරින් කථා කරමින් අපව රවටන්නේ කවුද? ජපානයෙන් ශ්‍රී ලංකා රජයට යෙන් කෝටි 2ක අති විශාල ආධාර මුදලක් පිරිනමන ලද එක් අවස්ථාවක, මා භාෂා පරිවර්තනයෙන් ඊට ඍජුව සම්බන්ධවී සිටි බැවින්, ආධාර මුදල් වල අවභාවිතය ගැන මාද ඇසූ දුටු කරුණු කාරණා ඇත. වත්මන් තත්ත්වය තුළද, විදේශ රාජ්යයන්ගෙන් දැනට කිසිදු මූල්ය ආධාරයක් ලැබී නැතැයි මැයි 4 වන දින අරලිය ගහ මන්දිරයේදීද ප්රකාශ කරන ලද්දේ, ලෝක බැංකුවේ Crisis Response Scheme එකක් ගැන පමණක් හුවා දක්වමිනි. මෙහිදී, පසුගිය සති කිහිපයක් මුළුල්ලේ, විදෙස් රටවල් වල විවිධ සංවිධාන විසින්ද, ශ්රී ලංකාව තුළවූ විවිධ ආයතන විසින්ද මිලියන ගණනින් රජයට පිරිනමන ලද මූල්‍යමය ආධාර ගැන මෙසේ සඟවන්නේ ඇයිදැයි අප කාටත් සාධාරණ සැකයක් මතු වේ.

වසංගතයක් නිසා පීඩා විඳින මෙවන් මොහොතක, අප රටෙහි, තිරයෙන් පසුපස ආහාර ද්‍රව්‍ය , පොහොර, ආදී අතවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද, අනේක විධ ඩීල් නැතුවා නොවේ. කරන්නන්ද, දකින්නන්ද, අසන්නන්ද, විඳින්නන්ද, සැවොම එවන් සිද්ධීනට පුරුදු වී ඇත. ඊට සම්බන්ධ බොහෝ දේද සති 2කින් කාට කාටත් අමතක වේ. එසේ නොවුණහොත්, මැතිවරණ, Cricket තරඟ, හඬ පට ආදී වශයෙන් ගත හැකි සරළ විසඳුම්ද කොතෙකුත් ඇත. කාගේත් කාගේත් විචක්ෂණ බුද්ධිය මොට කර ඇත්තේ එලෙසිනි.

ඒ කෙසේ වුවද, කවරකු කුමක් විවේචනය කළද, මෙය අතීත සිදුවීම් මත පමණක් එල්බ ගෙන ඇන කොටාගනිමින් සිටිය යුතු අවස්ථාවක් නොවේ. දේශපාලඥයින් සහ දේශපාලන සිහින වලින් උමතුවූවන් විසින් කෙළෙස අප රැවටුවද, අප විසින් වර්තමානය නිවැරැදිව අවබෝධ කර ගත යුතුය. ඒ, අපගේ අනාගතය වෙනුවෙන් අපට කළ හැකි, අප විසින් කළ යුතු දෙයක් වර්තමානයේ ඇති බැවිනි. සතොසකට, බැංකුවකට, ෆාමසියකට හෝ එලෙස සෙනග ගැවසෙන කුමන තැනකට ගියද, ඉවසීමකින් යුතුව, නිසි පරතරයක් ඇතිව ආරක්ෂිතව යාමට අප විසින් බුද්ධිමත් විය යුතුය. ‘නීති’, ‘උපදෙස්’, ‘අවවාද’ ආදී නාම පදයන්ට ගැති නොවී, කාගෙන් වුවද, ලැබෙන්නා වූ අවවාද ආදිය විවෘත වූ මනසකින් අවබෝධ කරගෙන, මනා සිහියක් ඇතිව පිළිපැදීම, කාටත් හිතකරවූ යහපත් අනාගතයක් සඳහා පිටිවහල් වනු ඇත. අත සෝදන සබන් වලින් විනාශ වන වෛරසයක් බැවින්, ශරීර ගත වුවද එතරම් බිය විය යුතු නැතැයි නොමඟ ගොස් සිටින අය සිටී නම්, ශරීරගත වූ පසු, පෙණහලු තුළට සබන් දැමිය නොහැකි බව තේරුම් කර දෙමු.

ඔයා මොනවද මේ වෙනුවෙන් කළේ ? අරයා මොනවද මේ වෙනුවෙන් කළේ ? යනුවෙන් අනුන්ගේ ආගිය තැන් විමසීමට මත්තෙන්, අවංකව තම ක්‍රියාවන් දෙස සිත යොමු කර, තම තමන්ගේ යුතුකම්, හැකියාවන්, ගුණධර්මයන්, කුසලතාවයන් වැඩිදියුණු කරගැනීමට උත්සුක වෙමු. තම තමන්ගේ වැරදි, අඩුපාඩු, දුර්වලතා ආදිය නිවැරැදි කර ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් කර ගනිමු. ජනාධිපති තුමන්වුවද, කුඩ්ඩෙක්ද වුවද, මෙවන් මොහොතක වරදක් කළහොත් විපාක අත් විඳින්නට වන්නේ මුලු මහත් ජනකායකටය.

මේ අතරතුර​, COVID-19 වෙනුවෙන් වූ ප්‍රතිකාර ගැන කිවහොත්, පිටරටවලින් ඖෂධ සොයාගෙන අප රටට පිරිනමන හෝ විකුණන තෙක් බලා සිටීම හැර, අපට කළ හැක්කක් සැබැවින්ම නැතිද ? දේශීය හෙළ වෙදකම ඇසුරින්, දැනටමත් යම් ප්රතිකාර ක්රම කිහිපයක් සම්බන්ධවම සාර්ථක ලෙස පිළිගත හැකි ප්රතිඵල ඉදිරිපත් කර ඇති බැවින්, ඒවා විද්‍යාත්මකව තහවුරු කොට ගෙන, එහි ඇති ශක්‍යතාවන් ගැන විමසීමද කඩිනමින් සිදු කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මේ බැරෑරුම් තත්ත්වයෙන් පීඩාවට පත් වන්නන් පීඩා විඳින්නේ, දේශපාලන පක්ෂ මත පදනම්වූ නිර්ණායකයන්ගෙන් නොවේ. මින් දුක් විඳිනා කවුරුත් අසරණ මිනිසුන්ය. මැරෙන කවරෙකු වුවද, ජීවත් වන්නට වෙර දරන, සිහින දකින දිරිමත් මිනිසුන්ය. ඇතැම් විට, කිහිප දෙනෙකුගේ දුක් කුසගිනි නිවනා සවිමත් මිනිසුන්ය. කුමන ජාතියේද ? කුමන ආගමේද ? කුමන පක්ෂයේද ? කුමන දිස්ත්රික්කයේද ? කවර අංකයකින් අවසන් වන ජාතික හැඳුනුම්පතක්ද ? ගැහැනුද ? පිරිමිද ? වැඩ්ඩෙක්ද ? කුඩ්ඩෙක්ද ? යන්න සොබා දහමටද වෛරසයකටද කිසිසේත් අදාළ නොවේ !

ජනාධිපතිතුමන් සහ යුධ හමුදාපතිතුමන් ප්‍රමුඛව, මෙතෙක් කල් දිවා රෑ නොබලා එකින් එක බල ගැන්වුණු අපමණ පිරිසකගේ ඉමහත් උත්සාහය (සම)හරකුන් ගේ නොසැළකිලිමත් කමකින් අපතේ නොයවමු !

  • Dr. Asanka Pallewatta
7 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here