කළු කොටියාගේ මරණය ගැන සැකයක්. තවත් කොටියෙක් මද්දක

(අශන්ති වරුනසුරිය)

යටියන්තොට සී පොත් ජනපදයේ නිවසක් පිටුපස තවත් කොටියෙකු මද්දකට හසුවී ඇත. ප්‍රදේශවාසීන් පැවසුවේ කොටියා මද්දත් සමග ඒ ආසන්නයේ තේ ගසක පැටලී සිටි බවය. ප්‍රදේශවාසීන් විසින් දැනුවත් කිරීමෙන් පසු යටියන්තොට වනජීවි නිලධාරීන් එම ස්ථානය පැමිණ සත්ත්වයා නිර්වින්දනය කිරීමට පියවර ගෙන ඇත.

මරණයට පත්වූ කළු කොටියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද උත්සාහ ගැනද කතා බහට ලක් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිද්ධිය සැලවීමෙන් පසුව කොටියාගේ දිවි ගලවා ගැනීම සඳහා කොළඹින් නිලධාරි කණ්ඩායමක් යවන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

පසුගිය අඟහරුවාදා හිමිදිරියේ නල්ලතන්නිය, රිකාටන් ගම්මානයට යාබදව පිහිටි ලක්‍ෂපාන වතුයායේ වාලමලෙයි කොටසෙහි අටවා තිබූ මද්දකට මෙම කළු කොටියා හසු විය. වාලමලෙයි කොටසට අයත් කෝවිලට යාබදව කැරට්, ලීක්ස් වගා කරන ලද කුඩා එළවළු කොටුවකි. ඌරන් මුවන් ආදී සතුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට එළවළු කොටුව වටා වැටක් ඉදිකොට ආවරණ යොදා ඇති අතර වගා බිමට පිටතින් එයට යාබදව කිසියම් අයකු ත්‍රීවීල් කේබලයක් යොදා ගනිමින් මද්දක් අටවා තිබුණේ කොටුවට එන වල් ඌරෙකු හෝ මුවකු මරා ගැනීමටය. නමුත් එයට හසුව තිබුණේ ඉතාමත් දුර්ලභ ලංකාවේ සිටින කළු කොටියාය.

මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ සිදුකරන ලෙස හැටන් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජේ.ට්‍රොස්කි ඊයේ නියෝග කළේය. ඒ, මියගිය කොටියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

පසුගිය 26 වැනිදා ලක්ෂපාන – වාලමලේ වතු යායේ එළවළු වගා ගොවිපලක මද්දකට හසු වී සිටි මෙම කළු කොටියා වනජීවි නිලධාරීන් විසින් මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන එනු ලැබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දුර්ලභ ගණයේ කළු කොටියා මියගිය බවයි උඩවලව පශු වෛද්‍ය මාලක අබේවර්ධන පැවසිය

මද්දට හසුවීම හේතුවෙන් කොටියාගේ ගෙල ප්‍රදේශයේ ඇති වූ තුවාලවලින් හටගත් සංකූලතා හේතුවෙන් මෙම සත්වයා මියයන්නට ඇති බවයි ඔහු ප්‍රකාශ කලත් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියේ මියගිය කළු කොටියාට බරපතල තුවාල සිදුව නොතිබූ බවය.

එමෙන්ම, මෙම කළු කොටියා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට තමන් අකැමැත්ත ප්‍රකාශ කළ බව ඔහු පැවසිය. ඒ, සත්වයා ජීවත් වූ දේශගුණික පරිසරයට වෙනස් පරිසරයකට රැගෙන යෑමෙන් යම් බලපෑමක් සිදුවිය හැකි බවට නිගමනය කළ නිසා බව ඔහු කීය. එම කරුණු පදනම් කරගනිමින් මෙම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව පශු වෛද්‍ය රෝහලේ සිදුනොකර පේරාදෙනිය පශු වෛද්‍ය ඒකකයේ සිදුකරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත

මෙම කොටි විශේෂය ලංකාවේ සිටින්නේ අපේ රටේ පමණක් සිටින අපට ආවේණික වූ කොටි විශේෂයකි. පැන්තෙරා පාඩුස් (Panthera Padus kotiya) යන සත්ත්ව විද්‍යාත්මක නමින් හැඳින්වෙන ලංකාවේ කොටියා වෙනම උප විශේෂයක් ලෙස හැඳින්වේ. හරියටම ගණන් බලා නැතත් අපේ රටේ තෙත්, වියළි හා කඳුකර කලාපවල කොටි 1,500ක් හෝ 2,000ක් වැනි සංඛ්‍යාවක් ජීවත්වන බව විශ්වාස කෙරේ. ලංකාවේ කළු කොටියා යනු පැන්තෙරා පාඩුස් කොටියා යන අපට ආවේණික විශේෂයෙන්ම බිහිවූ දුර්ලභ සත්ත්වයෙක් වන අතර තෙත් අඳුරු පරිසරයකට උචිත ජානමය අනුවර්තනයක් ලෙස ඉතාමත් කලාතුරකින් බිහිවන විශේෂයකි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here